Wednesday, October 5, 2011

මං වැරදිකාරියක් නෙවෙයි.. 2

එදා කියපු කතාවේ දෙවෙනි කොටස තමා මේ. දා කතාව කියෙව්වෙ නැත්නම් ඒකත් කියවලාම එන්නකො මේ පැත්තට..
මං වැරදිකාරියක් නෙවෙයි.පෙරවදන
මං වැරදිකාරියක් නෙවෙයි.1
මං වැරදිකාරියක් නෙවේ කියලා කිව්වාට නොවෙන්නේ කොහොමද කියලා මං ඒදා ඔයාලට කිව්වේ නැනේ. මේ සම්බන්ධය දිහා උඩින් බලන කෙනෙක්ට පේන පළවෙනි දේ තමා මම අසරණ කොල්ලෙක් ව අඬවපු නපුරු කෙල්ලෙක් කියන එක. ප්‍රේම සම්බන්ධය දිහා අමුතු විදිහට බලන කෙනෙක්ට පේන දේ මේ සම්බන්ධය මගේ නමට කැළලක් එකතු කරගත්තා කියලා.


ඒත් ඒ චෝදනා දෙකම කාරණා කරුණු නොදැන පිටින් බලලා කරන චෝදනා දෙකක්. හරියට කොස් ගෙඩියක පොත්ත දිහා බලලා ඒක කන්නේ නැති ජාතියක් කියනවා වගේ.


මං පළවෙනි චෝදනාවට වැරදිකාරිය නොවේ.


උ.පෙ පන්ති පටන් ගත්ත ගමන් අපි හිටියේ හරිම සැහැල්ලුවෙන්. ජීවිතේ ලස්සනම දවස් වේගයෙන් ගෙවිලා යනවා කියලා අපිට දැනුණේ නැ.මං අපි කිව්වේ මාත් මගේ හොඳම යෙහෙලියන් පිරිසටත්.හොඳ යෙහෙලියන්ටත් වඩා සහොදරියන් ගානට අපි ලං වෙලා හිටියා.


පාසල ඇතුලේ හිටපු ලොකුම අක්කලා කියන එක ලොකු දේවල් විදිහට හිතට වැදිලා තිබුණා. ඒවා අපේ වැරද්දක්ද මන්දා.. ඒත් ඉතින් ඔය වයසේ ගොඩ දෙනෙක්ට ඔහොම හිතෙනවා නේද? අපිට වගකීම් වල බරපතලක් දැනුණේ නෑ. ඒත් ජීවිතේ වගකීම් දරන්න පුළුවන් කියල අපි හිතගෙන හිටියා. ඒත් ඇත්තම කතාව ජීවිතේ වගකීම් දරන්න තියා වගකීම් කියන්නේ මොනවද කියලා වත් අපි දැන්න් හිටියේ නෑ. [අද ඇත්තටම හිතෙනවා අවුරුදු 21 ක් පහුකරලත් ජීවිතේ නියම වගකීම් දරන්න තරම් තාමත්  අපි සූදානම් නෑ නේද කියල]


මගේ වටේ හිටපු බෝහෝ දෙනෙක්ට තම තමන්ගේ පුද්ගලික සිහින ලෝක තිබුණා. ඒ සිහින ලෝකේ හිටියේ එයායි එයාගේ පෙම්වතා හෝ පෙම්වතිය විතරයි. මට එහෙම ලෝකයක් තිබුණේ නෑ. මම පිරිමි ගොඩාක් මුණගැහෙන තරම් සමාජය එක්ක ගැටිලා තිබුණේ නෑ. සා.පෙළ කරන කාලේ පවා මම පන්ති ගියේ එක විෂයකට විතරයි. ඒ පන්තියේ හිටපු එක පිරිමි ළමයෙක් මං ගැන් උනන්දු වුණා. ඒත් මටත් කලින් ඒ උනන්දුව ටීචර්ට තේරුන නිසා ඒ පිරිමි ළමයා අහන්න කලින්ම බෑ කියන එක එයාට පෙන්නලා තිබුණා. සා.පෙළ කරන කාලේ වෑන් එකේ එනකොට බස් වල එනකොට පිරිමි ළමයි උනන්දුවෙන් බැලුවට, දුරකතන නොම්බර දුන්නට ඒවා ඒ දවස් වල ඒ තරම් වැදගත් වුණේ නෑ. ඒකට හේතුව ඒ දවස් වල හිටපු යාළුවොත් ඒ දේවල් ගැන උනන්දු නොවුණු නිසා වෙන්නැති.


ඒත් උ.පෙළ පන්තියේදී හැමෝම ප්‍රේම සම්බන්ධ ගැන කතා කරද්දි, පිරිමි ළමයි දීපු නොම්බර වලට කතා කරලා එයාල එක්ක විහිළු කරද්දි එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතා ගෙනාපු තෑගි පෙන්නද්දි..මටත් කවුරුහරි හිටියා නම් කියලා හිතුණා. ඒ හැඟීම වැරදි ඇති.. ඒත් ඒ තැන හිටපු මට වේගයෙන් හමාගෙන ආපු සැඩ සුළඟට අහුවෙලා ගසා ගෙන නොයා ඉන්න තරම් දැනුමක් තිබුණේ නෑ.. ඒ ලොකේ තේරුමක් නැති සරුව පිත්තල ලොකයක් කියලා තේරුම් ගියේ නෑ.සත්තකින්ම ඒදා වීරකමක් විදිහට දැකපු පිරිමි ළමයි යාළු වෙන්න අහන එක මොනතරම බොළඳ දෙයක් කියලා අද ආපහු ඒ දේවල් දිහා බලන කොට තේරේනවා. කෙනෙක් යාළු වෙන්න අහන පමණින්ම ආදරේ නෙමෙයි.


ඒ කොහොම හරි මම පාසලේ බාහිර සංගමයක ක්‍රියාකාරී සමාජිකාවක්ව හිටපු නිසා ඒවායේ තරඟ වලට නිතරම පිට පාසල් වලට යන්න සිද්ධ වුණා. ඒ ගමන් වලදී නිතරම මුණගැහුනේ එකම පිරිසක්. ඒ මුණූ ටික ටික ඇහැට හුරුවුණා. ඔය අතරේ මං ගැන කැමැත්ත අකැමැත්ත අහලා කෙනෙක් යාළුවෙක්ගේ මාර්ගයෙන් පණිවිඩයක් එව්වා. මෙගේ ඒ කාලේ හොඳ ම යෙහෙළියත් මගේ සංගයේම හිටිය තවත් සමාජිකවක්.[ඒ කාලේ හිටපු කිව්වෙ දැන් එයා මාත් එක්ක නැති නිසා. ඒ ගැන කියන්න තවත් කතාවක් ලියන්න වෙනව.. :( ] අපි දෙන්න හැම තැනම ගියේ එකට. කොහොම හරි මේ පිරිමි ළමයා කවුද කියන එක මට මතක නැති වුණාට මගේ යෙහෙළියට මතක තිබුණා. එදා දවසේ ඔහු මගේ යෙහෙළියගේ දුරකතනයට කතා කළා. පසුදා පන්තියක් අවසානයේදි මුණගැහෙන්න අපි කතා කරගත්තා. ඇත්තටම මුණගැහෙනවාට වඩා ඕනේ වුණේ ළමයාගේ මූණ බලා ගන්න. ඇයි ඉතින් මූණ  දැකලත් නැනේ.


පහුවදා පන්තිය ඉවර වෙලා මමත් මගේ යෙහෙළියත් ඔහු එනතුරු හිටියා. මට කලින් මගේ යෙහෙළිය ඔහුව අඳුනගත්තා. කඩවසම් කියනවාට වඩා හුරුබුටියු කිවහැකි පෙනුමක් ඔහුට තිබුණා. තලෙළුයි. කූරු කොන්ඩේ ජෙල් වලින් ඔළු කට්ටට අලවලා තිබුණා කියලායි මට හිතුනේ.කොළපාටයි නිල්පාටයි ඉරි වැටුණු ටී ෂර්ටයක් ඇඳලා හිටියා. වැඩි උසක් නෑ. 5'4 ක් විතර ඇති වැඩිම වුණොත්. ඒ ඔක්කොටම වඩා මගේ හිත නැවතුනේ ලස්සන හිනාව ගාව. ඒ හිනාවේ හරිම අහිංසක කෙළිලොල් බවක් ගෑවිලා තිබුණා. සත්තකින්ම ඔහු ලස්සනයි. මෙග්ගේ ඇස් කොහොමත් ලොකුයි කියලා යාළුවෝ කියනවා. ඒ ලොකු ඇස් තවත් ලොකු කරලා කතා නොකර එයා දිහා බලන් හිටියා. මගේ යෙහෙළිය ටිකක් කතා කළා. අපි කතා කලේ මොනවාද කියලා මට මතක නෑ. කොහොම හරි ගෙදර එනකොට මම එයාට කැමතියි කියලා හිතට වැදිලා ඉවරයි.


මං වැරදියි කියලා ඔයාල කියයි. දවසක් දෙකක් දැක්ක පලියට හා කියන එක ආදරේ නෙවේ කියල හිතන්න තිබුණා කියයි. ඇත්ත මගේ හිතේ ආදරයක් තිබුණේ නෑ. ඒත් ඒ වයසේ හිටපු මට ඈත තිබුණ ලස්සන එළිය දේවතා එළියක් වගේ පෙණුනා. ඒත් ඒ ඉස්සරහට එන කෝච්චියක ලාම්පු එළිය කියලා හිතුණේ නෑ.


මං එයාට කැමති වුණේ කිසි දෙයක් හිතන්නෙ බලන්නෙ නැතුව කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් නිකමට හිතන්න ඔයාගේ වත්තට හදිස්සියේ ම ලස්සන සරුංගයලයක් කඩාගෙන ආවොත්? ඔයාට විතරක්ම සරුංගලයක් නැතුව ඉන්න කොට ඒ සරුංගලේට යන්න දෙන්න ඔයාට පුළුවන්ද? ආදරේයි ඔහුවයි සරුංගලයකට සමාන කරනවා නෙවෙයි. ඒත් මාත් හරියට සරුංගලයක් ආසවෙන් බදාගන්න පොඩි ළමයෙක් වගේ ඒ හුරුබුහුටි හිනාව බදාගත්තා.ඒ හිනාව වෙන කෙනෙක්ට දෙන්න හිතුණේ නෑ.


එයාට තේරුම් ගියෙත් නෑ මගේ හිතේ ආදරයක් ඇති වෙන්න තරම් කාලයක් ගියේ නැ කියලා. එයාටත් ඉක්මන් පිළිතුරක් ඕනේ වුණා. මට එදා රෑ කතා කරලා එයා කිව්වේ එක දෙයයි.


"ඔයා කැමති නම් හා කියන්න අකැමැති නම් බෑ කියන්න. මම ජීවිතේ බලා ඉන්න කැමති නැ"


වීරයෙක් වගේ හරි කෙළින් කතා කරන කොට මම දන්නේ ම නැතුව " මං කැමතියි" කියලා කියවුණා.


"ඕක ඔයා අද කිව්වේ නැත්නම් මට නින්ද යන එකක් නැ අදත්" ඔයාට කියවුණා.
ඒ වචන හරි බරපතල ගැඹුරු වචන විදිහට හිත වැදුණා. ආදරයක් ඇති වුණාම නින්ද යන එක හොරයි තමා. ඒක ඉතින් කාටත් තියෙන ලෙඩක්. ඒත් ඒ දවස් වල ඒක මම නිසා එයාට විතරක් වෙන දෙයක් වගේ තමා දැනුණේ.


සත්තකින් ම ඒ දවස් වල අපි කොයිතරම් බොළඳ ද කියලා අපහු හැරිලා බලන් කොට තේරෙනවා. ආදරේදී බොළඳ වෙන්න ඕනේ. ඒත් අපි ආදරේදී නෙවේයි ජීවිතේ ඇතුළේ බොළඳ වෙලා හිටියා. ජීවිත් වුණේ හැබැ නොවෙන හීන ඇතුළේ.


කොහොම හරි දවසක් දෙකක් දැකපු එයා, එක තත්පරෙන් මගේ පෙම්වතා, බොය් ෆෙන්ඩ් වෙලා.
ඒත් දවසින් දවස කතා කරන කොට මෙයා මට ගැළපෙන්නෙ නෑ කියල මට හිතුණා. ඒකට හේතුත් තිබුණා. පළවෙනි ම දේ මං කරන ඕනේම දෙයක් මෙයා අකැමති වුණත් විරුද්ධ වෙන්නේ නැ.ඕනේ ම දෙයක කරන්න දෙනවා. මෙහෙම කිව්වාම ඔයාලා කියයි ඉතින් හොඳයි නේ කියලා. ඔව් හොඳයි. ඒත් වැඩි කාලයකට නෙවියි. මගේ තාත්තා මට ගොඩාක් ආදරේ කරන ටිකක් විතර සැරපරුෂ කෙනෙක්. එයා අකැමැති දේවල් කරන්න එයා කවදාවත් මට ඉඩ දුන්නේ නෑ. එහෙම පරිසරයක හැදුණු මට මෙහෙම කෙනෙක් හම්බුවුණා ම කොච්චර හොඳ කියලා කෙනෙක්කට හිතෙන්න පුළුවන්. ඒත් ඒක ඉක්මනට එපා වෙනවා. මම එයාට බැන්නොත් අහගෙන ඉන්නවා. එයා අකැමැති දෙයක කලත් අකැමැතියි නොකියා ඉන්නවා. මෙහෙම කරනකොට මට හිතුණා ඇයි එයාට බැරි එයා අකැමැති නම් කට ඇරලා අකැමැතියි කියන්න? ඇයි බැරි එපා කියන්න? එයා හරීයට මගේ දාසයෙක් වගෙ ඉන්න ඕනේ නැනේ කියලා. 


මම වැරදිද  කියන්න මම දන්නෙ නැ. ඒත් මම හිතපු දේ වැරද්දක් නැ. මට ඕනේ වුණේ දාසයෙක් වගේ හැම වේලේම ඔළුව නමාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මට ඕනේ වුණේ මා හා සමානව ඉන්න කෙනෙක්. මට එයාව පාලනය කරන්න ඕනේ වුණෙත් නැ. එයා මාව පාලනය කරන්න ඕනේ කියල හිතුවෙත් නැ. ආදරේ කරන දෙන්නෙක් එකිනෙකා පාලනය කරන්න නෙවෙයි එකිනෙකාව තේරුම් අරන්ගන්නයි ඕනේ. එයා එහෙම කෙනෙක්ට යටත් වෙලා ඉන්න කැමැති කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා මට තේරුම් ගන්න බැරි වුණා ඇයි එයා මට යටත් වෙලා වගේ ඉන්න හදන්නේ කියලා. එයා පහුකාලෙක කිව්වා එයා එහෙම කලේ මාව එයා ළග තියාගන්න තිබුණ හොඳම විදිහ ඒක කියලා එයා හිතුවා නිසායි කියලා. ඒත් එයා මාව හරියට තේරුම් අරන් තිබුණා නම් මේ සම්බන්ධය අදටත් තියෙන්න තිබුණා. 


මම එයාට කවදාවත් ආදරේ කලේ නෑ කියන්න බෑ. පටන් ගන්න කොට ආදරයක් කියලා දෙයක් නොතිබුණාට පස්සේ මගේ හිතේ යම්කිසි හැඟීමක් තිබුණා. ඒ හැඟීම අදටත් හිතේ තියෙනවා. ඒක ආදරයකුත් නොවෙන, යාළුකමකුත් නොවෙන ළෙන්ගතුකමක්. එයා මට ආදරේ කරපු තරම් වෙන කවුරුත් මට ආදරේ කරලත් නැ. එහෙම කරනන් එකකුත් නැ. එයායි මයි අතර තිබුණ නොගැලපීම් ඔක්කොම අද වෙනකොට අපි දෙන්නාම තේරුම් අරන් ඉවරයි. ඒත් අද අපි දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් ආපහු හැරෙන්න බැරි තරම් අපි දුර ගිහින්. 


ජීවිතේ වැරදුනා නෙවෙයි. ජීවිතේ ගැන ඉගෙන ගත්තා. ඒ සම්බන්ධයෙන් පස්සේ මම කිසිම සම්බන්ධයක් පටන් ගත්තේ නැ. එයාට නම් ඊට පස්සේ ප්‍රේම සම්බන්ධ කිහිපයක්ම තිබුණා. ඒත් ඒ හැම එකක්ම එයා සෙල්ලමකට ගත්තා. මගේ සම්බන්ධය මට ජීවිතේට අමතක නොවෙන පාඩමක් කියලා දුන්නා. කිසිම වෙලාවක ආදරේදි හදිස්සි වෙන්න එපා කියලා. වෙන කෙනෙක්ට ආදරේ කරන්න කලින් තමන්ව තේරුම් ගන්න කියලා. මම සම්බන්ධය පටන් ගත්තේ එයා එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි. ඒක කවදාවත් සෙල්ලමක් වුණේ නැ. හිතක් පපුවක් නැති විදිහට මම එයාව දාලා ගියා වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනකොට මමත් මගේ ජීවිතේ ඇතුළේ අතරමංවෙලා හිටියේ. එයාට මාව තේරුම් ගන්න බැරි වුණා. ඒත් මට දැන් එයාව තේරුම්ගන්න පුළුවන්. ඒ දවස් වල්ට වඩා එයා දැන් ගොඩක් වෙනස්. එක අතකින් එහෙම වෙනස් වෙච්ච එක හොඳයි.


මම එයා එක්ක සෙල්ලම් කලා කියලා ගොඩදෙනෙක් මට චෝදනා කලා. ඒත් ඇත්ත දන්නෙ මම විතරයි. මම කොයිවෙලාවකවත් ආදරය සෙල්ලමකට ගත්තේ නැ. ඒක අදටත් එහෙමයයි . ජීවිතේ එකසැරයක් මා වටේ හැමුව සැඩ සුළැඟට මාව ගසාගෙන ගියා. ඒත් ආයේ කවදාවත් එහෙම වෙන්නෙ නැ. සුළඟ කොච්චර සැර වුණත් ඒ සුළඟට ගහගෙන යන්නේ නැතුව ඉන්න තරම් මම ශක්තිමත්. එහෙම ශක්තිමත් වුණේ ඒ සම්බන්ධය තුළින් ඉගෙන ගත්ත දේවල් නිසා. එයාගේ ජීවිතේ මම නිසා වැරදුනා කියලා එයා හිතනවද කියන්න මම දන්නේ නැ. සමහර විට එහෙම හිතනවා ඇති. සමහර විට නැතුව ඇති.. 


ජීවිතේ කිසිම දෙයක් වැරදි නෙවෙයි. ඒවා පාඩම්.. ඒ දේවල් ඒ විදිහට බාර ගන්න මම ඉගෙන ගත්තා.. 


දෙවෙනි චෝදනාව මම මගේ නමට කලු පැල්ලමක් එකතු කරගත්තා කියන එක..
ඒ ගැන මම ඊළඟ ලිපියෙන් කියන්නම්..

Tuesday, October 4, 2011

මංගල දැන්වීමකි

බඳින වයසට වැඩි
අත්සන ගහන්න පණ ඇති
ඕනේ ම වයසක
රැකියාවක් කරන හෝ කළ
අවම වශයෙන් නිවසක් හිමි
ගුණවත් නොවූවට කම් නැති
පොහොසත්නම් දොසක් නැති
සැමියෙක් සොයයි
ඉක්මන් විවාහයකට..
දුප්පත් පොහොසත් හැර
අන් භේද නොසැලකේ..
වරදට සමාව..
වහාම අමතන්න
බැංකු පොතත් සමඟ..

සරසවි වරම

අවුරුදු දහතුනක්
පිට කොන්ද
නමාගෙන
ටොන් ගණන් බර
පන් මල්ල උස්සගෙන
ගාටපු සීයකින්
දෙන්නෙක්ට ලැබුනා
වරමක් ගාටන්න
තවත් අවුරුදු ගාණක්..

ඈ...

සරසවියේ කැන්ටිමේ
මුල්ලක වූ බංකුවේ
ඔහු සමඟ කොදුරනා
ඈ 
දුටිමි හදිසියේ...
මීට වසරකට පෙර
එතැන මා සිටිය වග
නොදන්නවා ඇති

සමහරවිට...

Monday, October 3, 2011

That's all..

I looked up
at lite blue sky..
nothing but only
white soft clouds..
I looked down
at deep blue sea
nothing but only
calm silent waves..
here I am
in the middle of two blues
it is only me..
me and my self..
sky and sea
that's all around me....

Saturday, October 1, 2011

මං වැරදිකාරියක් නෙවෙයි.. 1

මගේ ජීවිතේ මම පසුතැවිලි වෙන කෙනෙක් නෙවි. ඒ මගේ හැටි. වෙන ඕනේම දෙයක් දවසින් දෙකෙන් අමතක කරලා දාලා ආයේ හිනා වෙලා ජීවිතේ විඳින්න මට හයියක් තියෙනවා. මෙහෙම කිව්වාට මම සංවේදී නැති චරිතයක් නෙවෙයි. මම සංවේදියි. සමහර වෙලාවට පසුගිය දේවල් මතක් කරලා පැය ගණන් එක දිගට අඬන්න මට පුළුවන්. එහෙම අඬනකොට නම් මම කොයුතරම් දුර්වල ද කියලා මට හිතෙනවා. ඒත් දුක කඳුළු ඔක්කොම අමතක කරලා ඊළඟ තත්පරේදී හිනා වෙන්නත් මට පුළුවන්.
මේක ලියන්න ගත්තේ මගේ සංවේදී බව ගැනවත්, මගේ හිතේ හයිය ගැනවත් කියන්න නෙවෙයි. ජීවිතේ මේ මැතක් වෙනතුරුම වැරද්දක් විදිහට හිතගෙන හිටපු.. මං වැරදිකාරියක්ය යන හැඟීම හිතට දැනිලා තිබුණ එකම එක බැඳීමක් ගැන කියන්න..
මේ බැඳීම ආදර සම්බන්ධයක්. සත්තකින්ම මේ සම්බන්ධය මං කරපු වැරද්දක් ය, මං වැරදිකාරියක් ය යන හැඟීම මේ මෑතක් වෙනකල් ම මගේ හිතට වද දුන්නා. ඒත් පසුගිය මාස කිහිපය ඇතුළේ වුණු දේවල් දිහා බැලුවාම මට තේරුම් ගියා ඒ සම්බන්ධය වැරද්දක් නෙවෙයි, නමුත් ඒම මේ ආපු ගමනේ අනිවාර්යයෙන් ම තිබිය යුතුව තිබුන දෙයක් කියලා. මෙහෙම අගක් මුලක් නැතිව කතාව කිව්වාට ඔයාලට තෙරෙන්නෙ නැනේ. මං කතාව මුල ඉදන් කියනන්ම්..
 *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *      *     *     *     *     *


මේ කතාව වුණේ මම උ.පෙ කරන්න ගත්ත මුල් කාලේ දීමයි.මං ගැන කැමත්තෙන් හිටපු පිරිමි ළමයෙක් යාළුවෙක්ගේ මාර්ගයෙන් මගේ කැමැත්ත අකැමැත්ත විමසලා එවලා තිබුණා. මමත් මේ ළමයාව දැකලා තිබුනෙත් එක සැරයක් හරි දෙසැරයක් හරි වුණාට පැනපු ගමන් හා කිව්වා. මාසයක් දෙකක් යන කොට මාත් එයාත් කොයිතරම් දුරට නොගැළපෙනවද කියලා තේරෙන්න ගත්තා. ඔය හේතුව නිසා මම මේ සම්බන්ධය නවත්තලා දැම්මා.ඒ පිරිමි ළමයා කවදාවත් නොඅඬපු විදිහට ඇඬුව.. ජීවිතේ එපා කියන තැනට වැටුණා. සියලුම බලාපොරොත්තු නැති කරගත්තා..ඒත් මං ආයෙත් එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්න කමති වුනේ නෑ.
මේ කතාවේ උඩින් පේන හැමෝම දන්න සාරංශය තමා ඔය මං කිව්වේ. ඔය ටික කියෙව්වාම ඔයාලගේ හිතේත් මං වැරදිකාරියක් වෙලා ඉවරයි මං හිතන්නේ..


මම, මට පණටත් වඩා වැඩියෙන් ආදරේ කරපු [ඇත්තටම  කියනවා නම් අවුරුදු හතරක් ගිහිල්ලත් තවමත් ඒ වගේම ආදරේ කරන] මනුස්සයෙක්ව  අඬවලා ජීවිතේ එපා කරවලා, ජීවිතේම දුකක් කරවපු කෙනෙක් වෙලා ඉවරයි. ඒ වැරදිකාරී හැඟීමෙන් මෑතක් වෙනකල් ම මගේ හිත පිරිලා තිබුණා. මම හේතුවක් නැතිව එයාව අසරණ කලා කියලා මගේ හිත දොස් කිව්වා.සමාජය දොස් කිව්වා. තවත් කෙනෙක් ඊට වඩා වෙනස් විදිහට දොස් කිව්වා.ඒ මං ආදරේ කරන කෙනා. එයා හැමදාමත් මගේ මේ සම්බන්ධය දැක්කේ මං කරපු වැරද්දක් විදිහට. කිසිම පැහැදීමකින් කතා කලේ නැ. එයාගේ අදහස වුණේ මම මගේ තත්ත්වය බාල්දු කරගත්ත කියලා.මගේ නම කැත කරගත්තා කියලා.මට හිතුණේ එයා මගේ ඒ සම්බන්ධය පිළිකුල් කලා කියලා.ඒත් පසුසිය දවසක මේ හැමදේම ගැන අයේ හිතලා බලනකොට මං මේ චෝදනා දෙකටම වැරදිකාරිය නෙවෙයි කියලා මට තේරුම් ගියා..
 *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *     *      *     *     *     *     *
ඒ තේරුම් ගැනීම ගැන කියන්න වෙන දවසකට තියලා අදට මේ සටහන මේ විදිහට ඉවර කරන්න මං කල්පනා කලා.මේ සටහනේ ඔයාලා දකින අඩුපාඩු කියනවානම් ගොඩක් සතුටුයි.ඒ විතරක් නෙවෙයි ඔයාලා මගේ යෙහෙලිය ව දකින විදිහත් කියන්න.. එයා එයාව දකින විදිහ මම දෙවෙනි සටහනින් කියන්නම්.. එතකන් බුදුසරණයි...

මං වැරදිකාරියක් නෙවෙයි.පෙරවදන

මං වැරදිකාරියක් නෙවෙයි..මේ කතාව සත්‍ය කතාවක්. මේක මගේ හොඳම යෙහෙලියකගේ කුළුදුල් පෙම් සම්බන්ධය හා බැදුණු කතාවක්. මම මේ බ්ලොග් සටහන ලියන්න ගන්නත් ප්‍රධාන ම කාරණාව ඇගේ මේ කතාව ලියා පල කිරීම. මම කතාව ඇය කියන ලෙසින්ම ඉදිරිපත් කරන්න හිතුවේ ඒ විදිහට තේරුම් ගැනීම මෙන්ම කතාව ගලාගෙන යැමටද පහසු වෙන නිසා.. පෙරවදනක් සපයන්න තීරණය කලේ මේ කතාව ගැන ඔයාලට අවබෝධයක් ලබා දෙන්න.. එහෙනම් අවසරයි කපිත්තාට කතා නෞකාව දියත් කරන්න..